Thursday, February 14, 2019

ආදරය

ආදරය
මේ post එකත් සුපුරුදු රටාවෙන් මිදුනු වෙනස් ආකාරයක post එකක්. මේ post එක වැලන්ටයින් එක ගැන කියල දාන දුක් ගැනවිල්ලක් නම් නෙවෙයි. මේ post එක ටිකක් දිගවෙයි. කියවනවා නම්, බූට් කාපු කෙනෙක් නම් අනිවාරෙන් කියවල බලන්න කියල ඉල්ලීමක් කරනවා.

ආදරය, ඇත්තටම මොකක්ද මේ ආදරය ? ලිංගිකත්වය ද?
මේකට ගොඩක් අය උත්තරේ දන්නවා. බල්ලො , පූසො ,නරි , මුගටි උනත් ඔය ලිංගිකව හැසිරීමේ කර්තව්ය කරනවා. ඒකට ආදරය ඕනම නැහැ. හැබැයි ආදරයෙත් එක් කොටසක් ඒ හා බැඳී තියෙනවා. ඒත් ලිංගිකත්වය කියන්නෙ ආදරය නෙවෙයි. ගොඩක් අය මේක වරද්දගන්න තැනක්.
ආදරයේ ආරම්භය කොතනද?
අපිට මුලින්ම ආදරය ලැබෙන්නෙ අම්මගෙන්, අම්මා තරම් මේ ලෝකෙ කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ. අම්ම කෙනෙකුගෙ ජීවිතේම තමන්ගෙ දරුවන්. අද වෙනකොට අම්මලා ගොඩක් බිසී වෙලා දරුවන් ව අමතක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම දරුවන්ව කුණු බක්කි වල දාලා යන සිදුවීම් අපේ රටෙත් බහුලව සිදුවුනා. නමුත් ඒ අම්මලා නෙවෙයි. එයාලා ගැහැණු විතරයි . අම්මා කියන්නෙ ළමයින් ට ආදරය කරන කෙනෙක්. ඒ වගේම අපි හැමෝගෙම ලෝකෙ දෙවියන් වෙන්නෙ අපේ අම්මා.
තාත්තා කියන්නෙත් අපිට ගොඩක්ම ආදරය කරන කෙනෙක්. ඒත් තාත්තා ඒ ආදරය පෙන්නන්න යන්නෙ නැහැ. ඇත්තටම ඒ ආදරය අපිට දැනෙන්නෙ නැහැ. මොකද තාත්තා කියන්නෙ අපිට ටිකක් දුරින් ඉඳන් අපිව ආරක්ෂා කරන කෙනෙක්. අපිට නොපෙනෙන ගොඩක් අනතුරු නැතිකරලා දනවා. අපි ඒ ගැන දන්නෙ වත් නැහැ.
ආදරය, ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද?
ඇත්තටම ඒක විස්තර කරන්න නම් මම වචන දන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ අයින්ස්ටයින් ට වත් ඒකට පැහැදිලි අර්ථකථනය ක් දෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ බුද්ධියට එහා දෙයක්. ආදරය කියන්නෙ පුදුම සහගත දෙයක්. ආදරයට ගොඩක් ප්රාතිහාර්යයන් කරන්න පුළුවන් .
ආදරය හා ආශාව , දෙකක්ද?
ආදරය , ඒක කිව්ව ගමන් අපිට දෙයක් දැනුනා . එහෙම නේද? . ආශාව කියන්නෙ දෙයක් වෙනුවෙන් තියෙන කැමැත්ත. මේක ඇත්තටම දෙකක්. අද කාලෙ ගොඩක් අය මේ ආදරයයි ,ආශාවයි පටලවා ගන්නවා. අහලා තියෙනව නේද ඕන තරම්, තම පෙම්වතා හෝ පෙම්වතිය හැරයාම හේතුවෙන් සියදිවි නසා ගැනීම් ගැන. ඒකට තියෙන්නෙ එක හේතුවයි. ඒක තමයි ආශාව, කෙනෙකුට තවත් කෙනෙක් ගැන ආශාවක් තියෙනව නම් , ඒකෙන් වෙන්නෙ ගොඩක් නරක දේවල්. මොකද ඒ දේ නොලැබුනාම බලෙන් ලබා ගන්න යනවා. ආදරය, නැහැ. ආදරයෙදි එහෙම නැහැ. ආදරය කියන්නෙ මිනිස්සුන්ව මරවන දෙයක් නෙවෙයි, ජීවත් කරවන දෙයක්. ආදරය කරන දෙදෙනෙකුගෙ වෙන්වීමක් වුනොත් ඇත්තටම දෙන්නගෙම හිත්වල ලොකු වේදනාවක් තියෙනවා. නමුත් ඒ දෙන්නටම පුළුවන් කමක් තියෙනවා , තමන්ගෙ ආදර වන්තයාගෙ හෝ වන්තියගෙ සතුට වෙනුවෙන්, ඔහුව හෝ ඇයව අත් හරින්න. ඒකයි ආදරය, නැතුව මැරිලා අනිත් කෙනාට දුකක් දෙන්න හිතන එක නෙවෙයි.
සත්ය ප්රේමය, ආත්ම ගනනක බැඳීම් බොරුද? එහෙම දේවල් මේ ලෝකෙ නැත්ද?
ඒව ඇත්ත. නමුත් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ ලෝකෙ ඉන්න මිනිස්සු වර්ග 4ක් ඉන්නවා.
යක්ෂ (ගැහැණු / පිරිමි ) වගේම දේව (ගැහැණු / පිරිම). එක පාරට නිකන් post එකම track out වුනා වගේ නේද?. ඇත්තටම කිව්වොත් සත්ය පේමවන්තයො මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා. ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති. ඒ අය තමා දේව කොටසට අයිති වෙන්නෙ. ඒත් අවාසනාවකට යක්ෂ කොටසකුත් ඉන්නවනෙ. මේක ගොඩක් ලොකු ලෝකයක්, ඉතින් අපිට මුලින්ම හමුවෙන කෙනාම අපේ පතාගෙන එන ආදරය වෙන්න ඉඩ ගොඩක් අඩුයි. එහෙම වෙන්න පුළුවන් ඉතාම කලාතුරකින් . මම අත්දැකීමෙන් කියන්නෙ. මම දැකලා තියෙනවා, තමන්ගෙ අනාගතයම ප්ලෑන් කරපු, ගෙවල් වලින් පවා කැමැත්ත දීලා තිබුනු කපල් වෙන් වෙනවා. ඒ වගේම එහෙම වෙන් නොවුන කපල් පවා මම දැකල තියෙනවා. ඔයාගෙ ආත්ම ගනනක බැඳීම ඔයාට හමුවේවි කරන්න තියෙන්නෙ ටිකක් ඉවසන එක.
ඔයා ඇත්තටම සැබෑ ආදරවන්තයෙක් ද?
ආදරවන්තියක් ද?
ඔයා ආදරයක් හොයන්න පටන් ගන්නෙ නිකන් නෙවෙයි. ඒකට අපේ සිරුරේ ස්රාවය වෙන හෝර්මෝන බලපානවා. ඉතින් ඔයා ආදරය හොයන්න පටන් ගන්නවා. මේ ගමනෙදි ඔයාට යක්ෂ , දේව කොටස් දෙකම හමුවේවි. යක්ෂ අය කියන්නෙ සැබෑ ආදරය නොපිළිගන්නා , සැබෑ ආදරය නොදන්නා පිරිසක්. ඔවුන්ට අවශ්ය එකම දේ තමන්ගෙ ශරීරයේ අවශ්යතාවය ඉටු කරගැනීම, එහෙම අයට අහුවුනොත් දේව කෙනෙක් වුනත් විනාශ වෙන්න පුළුවන් , ( නිකමට ටිකක් හිතල බලන්න. ඔයාගෙ ආත්ම ගනනක සහකාරිය , සහකාරයා ඔයාව හොයනකොට , ඔයා යක්ෂ කෙනෙක් ලඟ නිරුවත් වෙලා. ඔහුගේ හෝ ඇයගේ තැන වෙන කෙනෙකුට දීලා). ඒ කියන්නෙ ඔයා සැබෑ ආදරය දන්න කෙනෙක් වත්, පිළිගන්න කෙනෙක් වත් නෙවෙයි.
ඒත් සත්ය ආදරයමයි කියලා අඳුරගන්නෙ කොහොමද?
(අපි ළඟට ඇවිත් කියන්නෙ නෑනෙ " හායි, මම තමයි සත්ය ආදරය " කියලා) .
ඒක දැනෙන්නම ඕන, හදවතට දැනෙන්න ඕන. ඔයාට කෙනෙක් ඇත්තටම ආදරෙයි නම් එයා ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ. කිසිම දෙයක්. ඒ වගේම අනවශ්ය දෙයක් කරන්න පොළඹවා ගන්නෙත් නැහැ. හරිම කෙනා ලැබුන දවසක ඔයාට දැනෙයි ඔයාගෙ ලෝකෙම සම්පූර්ණ වුනා වගේ. ඔයාගෙ ලෝකෙම එයා වුනා වගේ එයාගෙ ලෝකෙම ඔයා වෙයි. එදාට ලිංගිකත්වය කියන්නෙ එක් නොවැදගත් දෙයක් කියලා තේරෙයි.
ආදරය කියන්නෙ සඟවන්න ඕන දෙයක් ද?
ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ශෘංගාරය , රාගය ඕනම හිතක් තුල ඇති වෙන්න පුළුවන් . ඒක හරියටම පාලනය කරපු ජාතීන් අතර ඉහළින්ම හිටිය ජාතියක් තමා සිංහල කියන්නෙ. ඒත් සුද්දා ඇවිත් ගියාට පස්සෙ ලංකාවෙ ඉතිහාසයත් වෙනස් වෙලානෙ. අවු. 2500 ක් පරණ ඉතිහාසයක්, සංස්කෘතියක් හැදිලනෙ. හැබැයි මේ වගේ සංස්කෘතියක් ඒ කාලෙ තිබුනා කියල නම් කිසිම සාක්ෂියක් වත් නැහැ. කමක් නැහැ. මෙතන ඉතින් ඒක කතා කරන්න නෙවෙයි නෙ.
ආදරේ පෙන්නන්න ලැජ්ජ වෙන්න එපා. ඒක සඟවන්නත් එපා. ආදරය කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ වැරදි අදහස් නිසා ඒක සඟවනවා. ඒ නිසා තමයි ළමයි ආදරය වැරදියට තේරුම්ගන්නෙ. කවද හරි දැකල තියෙනවද අම්මා තාත්තා කිස් කරනවා. ( ආනන්තරීය පාපකර්මයක් නෙවෙයි ඒක) . ඒක ආදරය , නැතුව වෙන දෙයක් නෙවෙයි. අඩු තරමෙ අදකාලෙ දෙමව්පියෝ එකි නෙකාව බදාගන්නෙවත් නැහැ. ඉතින් ළමයි දැන ගන්නෙ මොන රෙද්දක් ද? උන් ආදරය ගැන නොදැන අමාරුවෙ වැටෙනවා. මේක වැඩිහිටියෙක් කියෙව්වත් කේන්ති යාවි එච්චරයි . ඒත් ඔයා මේක කියෙව්ව නම්, තරුණ කෙනෙක් වුනත් මේක හිතන්න . මොකද දවසක ඔයත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙනවා. කවම දාකවත් ආදරය සඟවන්න එපා.
ආදරය කියන්නෙ භයානක දෙයක්ද?
ඔව්, ආදරය කියන්නෙ පරමාණු බෝම්බයක් වගේ. වැරදි ආදරයකට පුළුවන් ජීවිතයම විනාශ කරන්න. ආදරයෙන් අපිව අන්ධ කරනවා. ඒක ඇත්ත. අපිට පේන්නෙ ආදරයෙන් අපිට පෙන්වන දේවල් විතරයි. ඒ නිසා ගොඩක් ප්රවේසම් වෙන්න ඕන. ඒ කියන්නෙ පොඩි සැකයක් තියාගන්න ඕන. සැකයක් තියාගන්න දෙන්නා 100%ක්ම එකතු වෙනකම් විතරක්. විවාහය වෙනකම් විතරක්. මොකද සැකයට පුළුවන් ඕනම දෙයක් විනාශ කරලා දාන්න. ඒකට සීමාවක් නැහැ. ඒ නිසා ඕනවට වැඩියෙන් සැක කරන්න යන්න එපා.
ආදරය ගොඩනැගෙනුයේ විශ්වාසය මතද?
මම කලින් කිව්වා නේද සැක කරන්න කියලා. ඒක ඇත්තටම කරන්නෙ ඔයාව ආදරයෙන් ඈත් කරන එක. මොකද ආදරයේ පාදම තමයි විශ්වාසය. සැකය කියන්නෙ අපිව ආදරයෙන් ඈත් කර තබන දෙයක්. මම ඒකයි කිව්වෙ ටිකක් සැක කරන්න කියලා. විවාහයෙන් පසු සැකය සම්පූර්ණයෙන්ම අත් හරින්න. විශ්වාසය විතරක් ඉතුරු කරගන්න. .
තව කියන්න දේවල් නම් ඕන තරම් තියෙනවා. ඒත් post එක දැනටම දිග වැඩී තවත් දික් ගස්සල එපා කරවන්නෙ නැතුව එහෙනම් මම නවතින්නම්. මේක කියෙව්වා වගේම අදහස් comment කරලා. තවත් කෙනෙකුට බලන්න share කරන්න.
ආදරය කරන්න.
ආදරය විඳින්න.